ගෞරවය

ගෞරවය

525
0
SHARE

තාත්තා මහ ගෙදර මගේ නමට ලිවීමත්, මල්ලී කොළඹින් නිවසක් ගැනීමත් නිසා මහගෙදර අයිතිය මට පැවරිණි. මල්ලීට වඩා ගමේ සිටීමට ප්‍රිය කළ මා හට මහ ගෙදර ජීවත් වීමට ලැබීම පිළිබඳ ඇත්තේ එක්තරා ආකාරයක සතුටකි. එසේ ම මා අලුතින් නිවසක් ඉදිකිරීමට මහන්සි වීමට සිදු නො වීම තුළ මා ලැබූ මුදල් ඉතිරිය අප්‍රමාණ ය.
කෙසේ වෙතත් මගේ බිරිඳට අවශ්‍ය වූයේ අලුතින් නිවසක් ඉදිකිරීමට ය. ඒ සඳහා අකමැති වූ මම පැරණි නිවස ම යම් යම් වෙනස්කම් කීපයකට ලක් කොට පිළිසකර කිරීමට තීරණය කෙළෙමි. ඒ අනුව නිවස තුළ ඇති පැරණි බඩුමුට්ටු වෙනුවට අලුත් බඩුමුට්ටු ගැනීමට අපි තීරණය කළෙමු. ඉස්තෝප්පුවේ තිබූ පැරණි පුටු කබල් ඉවත් කොට ඒ සදහා අලුත් කැටයමින් කරන ලද ලී පුටු තැබුවෙමු. ගෙදර සාලයේ තිබූ පරණ පුටු සෙටිය ඉවත් කොට බිරිඳගේ දෑ‍වැද්දට ඇගේ පියාගෙන් ලැබුණු පුටු සෙටිය තැබීමු. එයින් ද සාලයට නව පෙනුමක් ලැබුණි. තව ද සුද්ද කර පිරිසිදු කළ හැකි පිත්තල බඩු පමණක් තබා අනෙක් සියල්ල විකුණා දමන ලදි. මෙයින් නිවසට නව පෙනුමක් පැමිණියත් බිරිඳගෙ මතය වූයේ දොර රෙදි හා ජනෙල් රෙදි වෙනස් විය යුතු බව යි.

“අනේ බලන්න අර මිස්ටර් පතිරණලයි ගෙදර හරි ලස්සන ඩිසයින් එකකකින් කර්ටන්ස් දාලා තියෙන්නේ.”

“දැන් ඔය තියෙන ජනෙල් රෙදි දාල මහ කාලයක් වුණා ද?”

“අම්මගේ දානෙටනේ දැම්මේ. මම නම් කියන්නේ ඕවා ඔහොම තව කාලයක් තිබිච්ච දෙන්.”

“දැන් මේ පරණ තාලේ කර්ටන්ට් දාන්නේ නෑ”

“වෙන කට්ටිය කුමක් කළත් මට කමක් නෑ” යි මට කියන්නට සිතුණි. එහෙත් ඇය එයින් මා සමඟ අමනාප වෙනු නො අනුමාන ය . බිරිඳගේ ඇවිටිල්ල මත අවසානයේ කොළඹින් රෙදි ගෙන්නවා කර්ටන් මහන්නෙකු ලවා කර්ටන් මැස්සුවෙමු. හරස් පොලු යොදා විශාල ලී රවුම්වලින් හැඩ වූ දොර හා ජනෙල් රෙදි ඝන රෙද්දෙන් මසා තිබුණි. එයින් නිවසට පිරිපුන් බවක් පැමිණි අතර නිවසේ අලුත් බව ද වැඩි විය.

ඉතුරු වූ මුදලින් නිවසේ තිබූ සිමෙන්ති පොළොවේ ටයිල් ඇල්ලීමට බිරිඳත් මමත් තීරණය කළෙමු. ටයිල් ඇල්ලීමට බාසෙකු සෙවූ මම අවසානයේ විජේදාස බාසුන්නැහේට කතා කළෙමි. විජේදාස බාසුන්නැහේ මට අල්ලා දුන්නේ සිරී ය. සිරීගේ අලුත සෑදූ නිවසෙහි ටයිල් ඇල්ලුවේ ඔහු ය.

“මිනිහට වැඩක් දුන්නොත් නීට්. ටොප් එකට කරනවා”

විජේදාස බාසුන්නැහේ අත් වැඩට කිසිදා කිසිවෙකුත් ගෙන එන්නේ නැත. එහෙත් පන්සල්වලත්, නගරයේ ප්‍රභූ නිවෙස්වලත් ටයිල් අල්ලන්නේ ඔහු ය. විජේදාස බාසුන්නැහේ වැඩට දක්ෂයා ය.උදෑසන ම වැඩට එන ඔහු වැඩ කරන විට තමා වැඩ කළ ස්ථානවල තොරතුරු කියයි. විටක වැඩය නවතා රඟපාමින් ඒවා විස්තර කරයි. වැඩකළ තැන්වල කන්න බොන්න දුන් දේ පවා ඔහු කියන අවස්ථා නැත්තා නො වේ. ඔහුගේ දකුණු අතේ ඇගිලි හතරක් අඩු ය .මා එයට හේතු විමසූ විට ඔහු වෙන කතාවක් පටලවා ගනී.

“මහත්තයෝ මේ මඩුවෙ තියන පුටු පාවිච්චි කරන්නේ නැද්ද?”

දිනක් වැඩ අවසන් වී යන්නට සූදනම් වන විට ඉස්තෝප්පුවෙන් ඉවත් කොට මඩුවේ ගොඩ ගසා තිබූ පුටු දැක ඔහු අසන්නට විය.

“නෑ …බාසුන්නැහේට ඕනෙද?”

“අනේ දෙන්නකෝ”

ඉස්තෝප්පුවෙන් ඉවත් කළ ඒ පුටුවල ඇත්තේ අපූරු ගාම්භීරත්වයකි. ගෙදරට පැමිණෙන සෑම අයෙකු ම අසුන් ගන්නා කළුවර ලීයෙන් තැනූ ඒ පුටුවල අපූරුවට පාට තුනක පන් භාවිතා කර ගොතා ඇති සිතුවමකි. මට ඒ සිතුවම තවමත් මතක ය. දැන් නම් ඒ සිතුවම හරි හැටි පේන්නේ ද නැත. පියා තම හවස් වරුව ගත කළේ ඔය පුටුවේ වාඩි වී කල්පනා කරමිනි.ඔහු සිටියා නම් මෙවැනි ඉරණමක් ඔය පුටුවට අත් නො වීමට ඉඩ තිබුණි.

තව ටික දිනක් මේ පුටුව මෙලෙස මඩුව තුළ තිබුණහොත් ඒවා දිරා යනු නො අනුමාන ය. එබැවින් මේ පුටු කබල් අපි බාසුන්නැහේට දීමට තීරණය කෙළෙමු. ඔහු පුටු එක බැගින් සයිකලයේ තබා ඇදගෙන ගෙනිච්චේය .

“තාත්ත හිටිය නම් ඔය පුටු කවදාවත් දෙන්නෙ නෑ.”

“අනේ ඕව තියා ගත්තයි කියල මොනව කරන්න ද?”

“ඒක නෙවෙයි.මේ පරණ දොර රෙදි ටිකයි, පරණ ඇදුම් ටිකයිත් දීල දාමුකෝ ඔය එක්ක ම”

“එහෙම පුළුවන් ද හැම එකම ඒ මනුස්සයගේ ඇගේ ගහන්න”

“ඔය පුටු ටික දුන්නා වගේ මේ ටිකත් දෙමු නිකන්. නිකන් කාමර ඇහිරෙන එක වෙන්නෙ”

“පුටු දුන්නේ ඒ මනුස්සය ඉල්ලපු නිසානේ

අපිට පුළුවන් ද ඕවා බලෙන් දෙන්න?”

“හරි නිකන් අහල බලමු”

“ඔයාට ඕනේ නම් අහගන්න මට නම් බෑ ඕවා කරන්න.”

“ඔයාට බැරි නම් නිකං ඉන්ට.මන් අහන්නම්කො. ඇදුම් ටිකක් මනුස්සයෙක්ට දෙන එක වරදක් ද?”

ඇගේ පරමාර්ථය කෙසේ හෝ මේ රෙදි ටික ඔහුට දී මේ කුණුගොඩින් නිදහස් වීම යි. කර්ටන් විශාල වීම නිසා කාමරයේ ඉඩ ඇහිරේ. කාමරයේ කොනක ගොඩ ගසා තිබෙන ඒවායෙන් හමන පුස් ගඳ ඉවසිය නො හැකි ය.එක්කෝ මෙම රෙදි ගෙදර වැඩට එන සුමනාවතීට දිය යුතු ය. දවසකට අත්තම ලෙස එක්දහස් පන්සියයක් ලබා ගන්නා විජේදාස බාසුන්නැහේ ඔය කුණු ගොඩට කරගැසීමට තරම් ආර්ථික වශයෙන් දුබල මිනිසෙක්ද නො වේ. ඔහු පුටු ගෙනිච්චේ එහි ඇති පෞරාණික බවට විය යුතු ය. නැත්නම් ඒවා කෙරෙහි ඇති වූ ආසාවට යි. දොර රෙදි  දීම ගැන සිතිය හැකි වූවත් ඇඳුම් දීම පිළිබඳ ව දෙවරක් සිතිය යුතු ය. දිනය අවසානයේ මා බැසුන්නැහේට ළං වූයේ මේ ගැන විමසීමට යි. උරහිසට දමාගත් සරම කටින් අල්ලා ගනිමින් ඔහු  ඇදි කලිසම මාරු කරමින් සිටියේය.

“බාසුන්නැහේ මේ අපේ ගෙදර පරණ දොර රෙදි ටිකකුයි, ඇඳුම් ටිකකුයි තියනො. දොර රෙදි ටික නම්  වැඩි පරණක් නෑ. ළඟ දි දැම්ම ඒවා.”

ඔහු කිසිවක් නො කියා බෑගයෙන් රෙදි පිටතට ගෙන ඒවා පිරික්සන්නට විය.

“ඔය රෙදි එහෙම බාසුන්නැහේලයි ගෙදර අහළ පහළ ඉන්න ළමයින්ට දීල දාන්න.” මම ඔහුගේ ප්‍රතික්ෂේපිත මුහුණ දැක ඔහුට පැවසුවෙමි.

“මහත්තයෝ මම දොර රෙදි ටික අද ගෙනියන්නම්. පස්සේ ඇවිත් ඇඳුම් ටික ගෙනියන්නම්.” යැයි ඔහු පැවසී ය.

ඔහු ඇඳුම් ටික පසුවට ගෙනයන්නට සිතුවේ ඇයි? දොර රෙදි හා ඇදුම් පිළිබඳ ඔහුගෙන් ඇසීම පිළිබඳ මම පසුතැවිලි වූයෙමි. 

විජේදාස බාසුන්නැහේ එදා සිට වැඩට නො පැමිණීම නිසා මගේ ඒ සිතුවිල්ල තවත් වැඩිවන්නට විය. කුණු රෙදි ඔහුගේ ඇඟේ ගැසීම පිළිබඳ ඔහු මා සමඟ අමනාප  වී ඇතැයි මම සිතුවෙමි. මම ඔහු සෙවීමට නිවසට ගියෙමි. ඔහුගේ නිවස රට උළු සෙවිලි කළ කුඩා නිවසක් විය. එහි ජනෙල් වල ඉටිකොළ ගසා තිබුණු අතර සමහර තැන්වල ඉටි කොළ ඉරී ගොස් නිවසෙහි ඇතුළත පෙනෙන්නට විය.

“විජේදාස බාසුන්නැහේ ඉන්නව ද?”

මම ගෙදර ඉස්තෝප්පුවේ  පුටුවක වාඩි වී සිටි මහලු ස්ත්‍රියකගෙන් අසන්නට විය. ඇය කිසිදු ප්‍රතිචාරයක් නොමැති ව බලා සිටියා ය.

“විජේදාස බාසුන්නැහේ ඉන්නව ද?” මා නැවතත් හඬ වැඩි කොට අසන්නට විය.

අෑ එවිට ද කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

“මහත්තයෝ මොකක් ද උවමනාව?” නිවසෙහි පිටුපස සිට ආ ස්ත්‍රියක් මගෙන් විමසන්නට විය .

“විජේදාස බාසුන්නැහේ ඉන්නවද?”

“ආ පොඩ්ඩක් ඉන්න”

නිවස තුළ සිට පැමිණි විජේදාස බාසුන්නැහේ  මා දැක ගෞරවාන්විත රූපයක් මවා ගත්තේ ය.

මහත්තයා මොකද මේ පැත්තේ?

“බාසුන්නැහේ ඒ පැත්තේ ළඟ දි නාව නිසා බලලා යන්න ආවා.”

“අනේ මහත්තයෝ අපේ ගෙදර දානේ අනිද්ද. මම මේ ඒකේ වැඩවලට හිරවෙලා. මම දානෙන් පස්සේ එන්නම්කෝ. මම අද එන්න හිටියේ මහත්තයට දානෙ ගැන කියල යන්න.”

මම විජේදාස බාසුන්නැහේ බැලීමට ගියේ ඔහුගේ නො පැමිණීම ගැන සෙවීමට පමණක් ම නො වේ. මා ඔහුගේ නිවසෙහි තිබුණු බඩු මුට්ටු විපරම් කළත්  මා දුන් කිසිවක්  මට පෙනුනේ නැත.

දොර රෙදි නම් විසි කළ දැමූවත් කමක් නැත. එහෙත් දුන් පුටු කබල් ගැන මම නැවත නැවතත් සිතන්නට වූයෙමි. මට ඔහු පිළිබඳ සිතෙහි කෝපයක් හට ගැනිණි. මා දානයට යෑමට තීරණය නො කළත් අවසානයේ බිරිඳගේ කීම මත එහි යාමට මම සිතා ගත්තෙමි.

මා එනතුරු විජේදාස බාසුන්නැහේ මග බලා සිටියාක් මෙන් මා නිවසට පිළිගන්නට විය. මා නිවසේ දොරකඩ තිබූ පුටුවක වාඩි වුණෙමි. මම නිවස විපරම් කළේ එවිට ය. අප දුන් ජනෙල් රෙදි අපූරුවට කම්බියකින් ජනේලයේ රන්දවා තිබුණි.

“මහත්තය දුන්න රෙදි ටික පරිස්සම් කරලා තියන් හිටියේ. දානෙට දෙන්න. අපි හාමුදුරුන්ට දානේ දුන්නෙත් මහත්තයල දුන්න පුටුවල.”

මා විසින් ලබා දුන් දොර රෙදි හා පුටු කබල්වලට මෙතරම් වටිනාකමක් ලබා දීම පිළිබඳ මම පුදුමයට පත් වුණෙමි. මා එයින් දුටුවේ ඔහුගේ අසරණ බව ද? නැත්නම් මා හට ඇති ගෞරවය ද?

මා දුන් පුටුවල ඉඳුල් විසි කොට යන පොඩි එවුන් දැක උන්ට බනිමින් විජේදාස බාසුන්නැහේ ඒවා අයින් කරමින් පුටුව පිස දමනු පෙනේ. මම ඉඳගෙන සිටි ප්ලාස්ටික් පුටුවෙන් නැගිට මා දුන් පුටුවක ඉඳ ගත්තෙමි.

NO COMMENTS

LEAVE A REPLY