හිතක් විනිවිද

අත්දැකීමට එහා ගිය නිර්මාණශීලිත්වය ඔප දැමූ ඇය: නිලක්ෂි සවීණා, හිතක් විනිවිඳ සමඟින්…

ජීවිතයේ රසමුසු තැන් තම පෑන් තුඩට කැටි කර ලොවක් මවිත කරන්නා වූ කලාවකි ලේඛනය.එය ජාතියක ස්පන්දනයයි. කුමාරතුංග මුනිදාස ශූරීන්, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, ටී.බී.ඉලංගරත්න මහතා, එස්.මහින්ද හිමිපාණන් ආදී ගද්‍ය පද්‍ය රචකයන් ඔවුන් ගේ නිර්මාණ තුළින් අපේ හදවත් ස්පර්ශ කරන්නට සමත් විය. රසවින්දනය, ජීවිතාවබෝධය අපට ඉගැන්වූයේ ඔවුන් ය. එදා සිට අද දක්වා ඔවුන් ගේ නිර්මාණ අප හදවත් තුළ නො මැකෙන සේ සනිටුහන් ව පවතී.ඒ ගත් කතුවරුන්ගේ මග යමින් ඔවුන් ආදර්ශයට ගනිමින් ස්වයංපෝෂිත වන්නා වූ නව යෞවන යෞවනියන් සමූදායක්, අද වෙන විට ලේඛන ක්ෂේත්‍රයට පිවිසීමට මං පෙත් විවර කර ගැනීමට, නව්‍ය නිර්මාණ සම්පාදනයේ නියැලෙමින් සිටී. ජ\’පුර සරසවියෙන් පන්නරය ලැබ ලේඛන කලාවට පිවිසි එවැනි යෞවනයන් රාශියක් අතරින් මෙවර අප සමඟ සුහද පිළිසඳරට එකතු වන්නේ තවත් එක් සුවිශේෂී යෞවනියක්‍.

ගද්‍ය නිර්මාණයන්ගෙන් ලොව රසවත් කළ, පද්‍ය නිර්මාණයන්ගෙන් ලොව මුසපත් කළ කලාකාමීත්වය හමුවේ ගද්‍ය පද්‍ය යන දෙ අංශයම කැටි කරගත්තා වූ \” හිතක් විනිවිද\” කෙටි නවකතාව හරහා ජනාදරයට පාත්‍ර වූ, ඇයට අනුව ලේඛනය යනු සිතත් සමග කරන ගනුදෙනුවක ප්‍රතිඵලයකි. ඇය නමින් නිලක්ෂි සවීණා සිරිවර්ධන ය.අපි දැන් ඇයත් සමග දොඩමළු වෙමු.

ප්‍ර: ඔබව හැඳින්වුවහොත්?

මම නිලක්ෂි සවීණා සිරිවර්ධන. වයස අවුරුදු 24යි. පදිංචිය පන්නිපිටියේ. මම වෘත්තියෙන් ගුරුවරියක් ලෙස ජාත්‍යන්තර පාසල් දෙකක සහ තර්ස්ටන් විද්‍යාලයෙත් කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා වාග් විද්‍යා අංශයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉංග්‍රීසි භාෂා උපාධිය හදාරමින් කාලය ගෙවනවා.

ප්‍ර: ඔබේ \”හිතක් විනිවිඳ \” කෙටි නවකතාවේ පද්‍ය රචනා ද දක්නට ලැබෙනවා. ඒ අනුව ඔබ ලේඛකයෙක් මෙන්ම කිවිඳියක්. මම නිවැරදි ද?

ඔව්. මම කිවිඳියක්. ඒ වගේම ගද්‍ය රචනා නිර්මාණවලත් නියෙලෙනවා.

ප්‍ර: අද ලෝකේ බොහෝ ගද්‍ය පද්‍ය නිර්මාණ බිහිවෙනවා. ඔබ සිතන විදිහට ලේඛනය කියලා අදහස් කරන්නෙ මොකක් ද?

ලේඛනය කියන්නේ සිතත් සමඟ කරන ගනුදෙනුවක්. ඒකට නිදහස් මනසක් ඕන. ඒ වගේම ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා තියෙන්න ඕන. සමහර නිර්මාණ අපි දැකලා තියෙනවා කියවලා ඉවර වෙද්දී අනේ අපරාදේ තව මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතෙන. ඒ නිසා මං හිතනවා හොඳ නිර්මාණයකට සතතාභ්‍යාස ගොඩක් වැදගත්. ඒ වගේම ජ්‍යෙෂ්ඨයන්ගෙන් අදහස් අරගෙන, ක්ෂේත්‍රයට බැහැලා මොනවද වෙන්න ඕනේ කියලා හොයලා බලලා කරන නිර්මාණ ගොඩක් සාර්ථකයි. තවදෙයක් තියෙනවා ඒකාකාරී නොවී විවිධ වස්තු බීජ ඔස්සේ නිර්මාණ බිහි කිරීමයි විය යුත්තේ.

ප්‍ර: හරවත් නිර්මාණ සමාජයට දායාද කිරීමේ හි ලා ඔබේ පවුලෙන් ඔබට ලැබුණු සහයෝගය කෙබඳුද ?

මගේ පවුලේ මායි අම්මයි තාත්තයි. මට සහෝදර සහෝදරියන් නෑ. ඒ නිසා ම ඒ දෙන්නා ගේ උපරිම අවධානය යොමු වුනේ මට. අපේ පවුල ඇත්තට ම කිව්වොත් කලා පවුලක්. මාව කලාවට යොමු කරන්නේ මගෙ දෙමාපියන්. පොඩි කාලේ ඉඳන් අද වෙනකන් එයාලගෙන් ලැබුණු සහයෝගය කියන්න තරම් වචන නෑ. හැම වෙලේම ඒගොල්ලො මාව දිරිමත් කලා කිව්වොත් නිවැරදියි.

ප්‍ර: සමාජ අත්දැකීමක් හරි අපූරුවට ඔබ කියාපානවා \”හිතක් විනිවිඳ \” කෙටි නවකතාව තුළින්. එම නිර්මාණය කිරිමට පාදක වුනු සිද්ධිය කෙටියෙන් කිවුවොත්?

ඇත්තටම කිව්වොත් ඒකට මූලික වෙන්නේ එක් පුද්ගලයකු ගේ ජීවන අත්දැකීමක්. ඇය කාන්තාවක්. මට අහම්බෙන් වගේ හමුවුණු ඇය, ඇගේ අත්දැකීම මාත් සමග බෙදා ගත්තා. පස්සේ මම ඒ සිදුවීම පාදක කොටගෙන ලිවීමට පෙළඹෙනවා. නමුත් පොතක් ලෙස එය එළිදක්වන්න අදහසක් මට තිබ්බේ නෑ. පසුකාලීන ව එම අදාළ කාන්තාව මගේ නිර්මාණය කියවනවා. ඇය තමා මට මුලින්ම කිව්වේ මේක පොතක් ලෙස එළි දක්වන්න කියලා. ඇය කිව්වා මෙච්චර රසවත් ව ලියලා තියෙන මගේ කතාව අනිත් අයටත් ආදර්ශයක් වේවි ඔයා එළි දැක්වුවොත් කියලා. පස්සේ මගේ මහාචාර්යවරුන්, ගෙදර අය, යාළුවෝ ඔක්කොමලා වගේ කිව්වේ එළිදක්වන්න කියලා හැමෝටම රසවින්දනයක් ආදර්ශයක් ගන්න. ඒ හරහා තමා මං පොත එළිදක්වන්න යොමුවෙන්නේ.

ප්‍ර: පොතේ නමට විශේෂ හේතුවක් එහෙම තියෙනවද?

මේ පොතේ නම ගැන කිවුවොත් ඒකට හේතු වුණේ කතාවේ අන්තර්ගතයමයි. නිර්මාණය අවසානයේ මට හිතුණා මේ නම දැම්මොත් හොඳයි කියලා. වෙන විශේෂ හේතුවක් නෑ.

ප්‍ර: ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිව්වොත් ?

මම මේ දවස් වල \”හිතක් විනිවිඳ \” පොතේ ම ඉංග්‍රීසි පරිවර්තනය කරමින් ඉන්නේ. පොත ලියපු දවස් වල ම මගේ මහාචාර්යවරුන් ගොඩක් අය කිව්වා ඉංග්‍රීසි පරිවර්තනය කරන්න කියලා. ඒ දවස් වල මට මගේ අනිත් වැඩත් එක්ක ඒකට වෙලාව යොමු කරන්න බැරි වුණා. දැන්නම් ගොඩක් දුරට ඒක කරලා ඉවරයි. සංස්කරණ පැත්ත තමා ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට ළඟදිම රස විඳින්න පුළුවන් වෙයි.

ප්‍ර: ලේඛකයෙකු ලෙස ඔබේ අනාගත සැලසුම් මොනවාද ?

මම ගුරු වෘත්තියේ නියැලෙන්නේ. විනෝදාංශයක් වශයෙන් තමා ලේඛන කටයුතු කරගෙන යන්නේ. දැනට විජය පුවත් පත සමඟ ද එක්ව කටයුතු කරගෙන යනවා. නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස මගේ නිර්මාණ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍ර: ඔබ වැනි ගොඩක් අය කලා ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ අයට ඔබට මොනවද කියන්න තියෙන්නේ ?

පොතපත හා ඒ සම්බන්ධ දේවල් කියවන්න. ලියන්න කලින් පූර්ව සැලසුමකට එන්න. වචන එකතු කරපු ගමන් සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නෙ නෑ. නිර්මාණාත්මක බවත්,
කලා රසයත් වගේම ඉන් ඔබ්බට සාහිත්‍ය උපක්‍රම ගැනත් හොඳ අවබෝධයක් ලේඛනයේ දී අත්‍යාවශ්‍යයි. හැමෝම දකින විදිහට දකින්න එපා. ටිකක් වෙනස් වෙන්න. ඒ වෙනසට සමහරවිට විවේචන එල්ලවෙයි. නමුත් කලාකාරයෙක්ට තියෙන්න ම ඕන දේ නව මානය සහ දරාගැනීමේ හැකියාව. තමන්ට ම කියලා අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න. ඒ තුළින් තමන් ට පැවැත්මක් නිරායාසයෙන් ම ගොඩනැඟෙනවා. හොඳ නිර්මාණකරුවන් සමාජයේ ඉන්නවා. නමුත් ඔවුන්ට හරි මඟ පෙන්වීමක් ලැබෙන්නෙ කලාතුරකින්. සාහිත්‍යය හා කලාව පැත්තෙන් ප්‍රවීණයින්ගේ සහය මීට වඩා ලැබෙනවනම් හුඟක් හොඳ සාර්ථක නිර්මාණකරුවන් තරුණ පරම්පරාවෙන් තව තවත් ඉස්සරහට බිහිවේවි.

Written by: Nipuni Nelunika
Designed by: Yasiru Chamalka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top